banner banner banner
මළවුන්ගේ මධ්‍යස්ථානය
මළවුන්ගේ මධ්‍යස්ථානය
Оценить:
 Рейтинг: 0

මළවුන්ගේ මධ්‍යස්ථානය


1 ෂෙහෙරාසාඩේස් බැග්ඩෑඩ්

ටෝනි භීතියට පත්ව සිටි නමුත් එය ඔහුගේ එකම විකල්පය බව ඔහු දැන සිටියේය. මිනිත්තු කිහිපයකින්, ඔහු දැන් සිටින තත්වයට වඩා සිය ගුණයකින් භීතියට පත්වන බව ඔහු දැන සිටියේය.

ඔහු සතුව ඔහුගේ කාර්ය සටහන තිබූ අතර එය තත්පරයට මතකයට එක් කරගෙන තිබුණි. ඔහුට වැඩ කිරීමට සිදු වූ බිත්තියේ විශාල ඔරලෝසුව පවා ඔහුට දැකගත හැකි විය. ඔහු තත්පර ගෙවී යන ආකාරය දෙස බලා සන්සුන් වීමට ගැඹුරු හුස්මක් ගත්තේය. එය විශේෂ ලෙස උණුසුම් දවසක් නොවීය. නමුත් ඔහු දැඩි ලෙස දහදිය දමමින් සිටියේය. එබැවින් ඔහු තම ජැකට් සාක්කුවෙන් ඔහුගේ අත් ලේන්සුව රැගෙන කැඩපතක් අසල නතර වී ඔහුගේ මුහුණ පිස දැමුවේය.

ඔහු සන්සුන් වීමට පටන් ගත්තේය. නිද්‍රාජනක ඖෂධය වැඩ කරමින් සිටියේය. මෙය මෙතරම් පහසු වනු ඇතැයි ඔහු නොසිතුවේය. ඔහුට තවත් මීටර් සියයක් ඇවිදීමට හා එය කිරීමට මිනිත්තු පහළොවක් තිබිණි. ඔහු කාලය නාස්ති කිරීමට මෙන් ඇවිදමින් මඟ දෙපස ඇඳුම් දෙස බලා කල්පනා කළේය. ඒ කිසිවක් දැන් වැදගත් නොවනු ඇතැයි ඔහු කල්පනා කළේය. එය කවදා හෝ වැදගත් වුයේ දැයි ඔහු කල්පනා කළේය. ෂර්ට්, කලිසම්, ඇඳුම් කට්ටල, පිරිමින්ගේ සුවඳ විලවුන්… ඔහු මලක් ස්පර්ශ කරන ආකාරයෙන් ඒවායින් සමහරක් ස්පර්ශ කළේය. ඉන්පසු කාන්තා ඇඳුම් ප්‍රදර්ශනය කර ඇති කොටස වෙත එස්කැලේටරය මගින් ඉහළට නැගි අතර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොට තිබූ පෙදෙස වෙත ගමන් කලේය. ඔහු මාර්ගය දැන සිටියේය; ඔහු දුසිම් වාරයක් මෙහි ගමන් කර ඇත.

තව මිනිත්තු දෙකක් ගතවීමට තිබූ අතර ඔහුට දැනුනේ ඔහුගේ හදවතේ වේගය වැඩිවන බවය. තවත් තත්පර කිහිපයක් රැඳී සිටින ලෙසත්, ප්‍රදර්ශන කැබිනෙට්ටු වලට ළං නොවන ලෙසත් ඔහුට පවසා තිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහුට තරණය නොකල යුතු රේඛාවක් ලබා දී තිබූ අතර, බලන්න, එය ඔහුට මීටරයක් ඉදිරියෙන් විය. ඔහු තම සලකුණ මත, බිත්ති අතර ඇති ඉඩ පේලියේ කාපට් කොටස් දෙකක් එකතු වෙන ස්ථානයේ නැවතී, වෙළඳ දැන්වීමක් කියවන ස්වරුපයක් මවා පෑවේය.

තත්පර පහළොවක් තව තිබිණි. ඔහු තමා අවට බැලුවේ ඔහුගේ දෑස්වල ගැඹුරු ශෝකයක් සහිතවය.

තත්පර දහයක් තිබිණි, ඔහු විකුණුම් සහායකයකුගේ ඇසට හසු වූ අතර ඇය ඔහු දෙසට ඇවිද එන්නට පටන් ගත්තාය. ඇයව ආපසු හරවා යැවීමට ඔහු තම සිතින් ප්‍රාර්ථනා කිරීමට පටන් ගති.

තත්පර පහක්, ඇය ඔහුට කතා කළ නමුත් ඔහු සවන් නොදුන්නේය.

හතර, තුන, දෙක, එක…

බිංදුව.

බූම්..

ඔහු කණගාටු වන බව පවසනු ඇයට කිසි විටෙකත් ඇසුනේ නැත, නමුත් ඇය හෝ ටෝනි මේ ලෝකයේ තවදුරටත් නොසිටියෝය.

කන් බිහිරි කරවන පිපිරීමෙන් පසු තත්පර කිහිපයක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් ඇති වූ අතර පසුව කෑගැසීම් ආරම්භ විය. මිනිසුන් කෑගසමින්, හඬමින් සිය දිවි බේරා ගැනීමට දුවමින් සිටියහ. මිනිසුන් සහ ඔවුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී වැටී තිබු අතර තැන් තැන්හි ඇවිලුණු කුඩා ගිනි මගින් දුම නගිමින් තිබිණි.

දුම සහ වේදනාවෙන් යුතු කෑගැසීම්, මිනිසුන්ගේ බිය මුසුවූ සුවඳ සහ සෙම්ටෙක්ස් අතර ටෝනි සහ ලස්සන වෙළඳ සේවිකාවගේ ශරීර කොටස්, සිවිලිම පුරාද ඇඳුම් සහ සාප්පු පැමිණි පුද්ගලයින් මතද විසිරී තිබිණි. දෙපාර්තමේන්තු ගබඩාවේ අනතුරු ඇඟවීමේ සීනුව නාද වීම ආරම්භ වූ අතර තත්පර කිහිපයකට පසුව ජල විදින පද්ධතියද ක්‍රියාත්මක විය.

කළු පැහැති ඇඳුම් ඇඟලා ගත් මිනිසුන් හදිසි පඩිපෙළෙන් දිව ආ නමුත් තුවාල වූවන්ට නොව ඔවුන් ඔවුන් හට උදව් කරගැනීමට එහි පැමිණ සිටි අතර ඔවුන් අත වෛද්‍ය වරුන්ගේ බෑග් වෙනුවට මැෂින් තුවක්කු තිබිණි. නමුත් කිසිවෙකුගෙන් කිසිදු ප්‍රතිරෝධයක් ඔවුන් වෙත එල්ල නොවිණි.



බැග්ඩෑඩ් නගර මධ්‍යයේ පිහිටි විශාල දෙපාර්තමේන්තු සාප්පුවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිස් දෙනෙකු මියගොස් එකසිය පනහක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව පසු දින පුවත්පත්වල වාර්තා විය.

ඊට වඩා වැඩි යමක් පුවත්පත්වල කියවීමට හෝ රූපවාහිනියෙන් දැකීමට නොතිබිණි. නමුත් රක්ෂණ ලෝකය කතා වූයේ වෙළඳසැලේ සිදුවූ ස්වර්ණාභරණ කොල්ලය ගැන වන අතර ලෝකයේ ප්‍රධාන බුද්ධි අංශ වලද ඒ ගැන කතා විය.

මෙම ව්‍යාකූලතාවයේ දී ඩොලර් මිලියන දහයමාරක් වටිනා භාණ්ඩ සොරකම් කර ඇති අතර වැරදිකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබුණි. ඔවුන් හට ටෝනි, සිය සීසීටීවී කැමරාවල සටහන්වී සිටියද ඔහුද මියගොස් සිටියේය. එය සිදුවන බවද ඔවුන් දුටු අතර එවිටම කැමරාව ක්‍රියා විරහිත විය. ඔවුන්ට සිදුවූ අලාභය ‘ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ කොල්ලකරුවන්’ පිට පටවා එතැනින් එය අතහැර දමා තිබුණි.

ආරක්ෂක සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අඳුරු පැහැති වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී ඔවුන් සොයාගත් වටිනා භාණ්ඩ සොරකම් කිරීම් ගැන මෙයට පෙර අසා තිබුණි. එය සමහරෙකුට වරප්‍රසාදයක් වූ අතර ධනවත් බටහිර රක්ෂණ සමාගම් කෙසේ වංචා කරනු ලැබුවද කිසිවෙකු ඒ පිළිබඳව නොසිතති. යුද්ධයට හා ත්‍රස්තවාදයට එරෙහිව වගන්තියක් තිබේ නම්, සමහර ධනවතුන් එම බිල්පත දරාගනු ඇත. එයද පොලිසියේ රාජකාරී කරන්නන්ට අදාළ නොවුනි.

අනුකම්පාව මුළුමනින්ම වෙන් කර ඇත්තේ මියගිය අය, ආබාධිතයන් සහ ඔවුන්ගේ ඥාතින් කෙරෙහි මිස කඩ සාප්පු ගබඩා හිමියන් සඳහා නොවේ.

ෂෙහෙරාසාඩේස් දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ වඩාත්ම කැපී පෙනෙන කාරණා දෙක නම්, බොහෝ දුරට දේශීය ජනතාවට ඇතිවූ දුක, අවාසනාව සහ එම ස්ථානය පිරිසිදු කිරීමට, එය නැවත ආරක්ෂිත ස්ථානයක් කිරීම සහ නැවත විවෘත කිරීම සඳහා ඔවුන්ට ලැබුන අතිකාල දීමනාවන් ය.

සාප්පු හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට සිදු වූ හානිය ඉතා භයානක වූ නමුත් ගොඩනැගිල්ලට වූ සත්‍ය හානිය ගණන් ගත නොහැකි තරම් සුළු විය. මන්දයත් ස්වර්ණාභරණ දෙපාර්තමේන්තුව අවට බිත්ති මෑතකදී කිරිගරුඬ පුවරු වලින් ආවරණය කර තිබූ අතර ඒවා පිපිරීමට හොඳින් ඔරොත්තු දී තිබිණි. එලෙසම බෝම්බය නිර්මාණය කර තිබුනේ මිනිසුන් ඝාතනයට මෙන්ම ඔවුන්ව අංගවිකල කිරීමේ පරමාර්ථයෙන් විනා ගොඩනැගිල්ලට ව්‍යුහාත්මක හානියක් සිදු නොකිරීමටය.

පුපුරණ ද්‍රව්‍යය වටකර ඔතා තිබූ මිලිමීටර හයක විෂ්කම්භයකින් යුත් යකඩ බෝල මිනිසුන් විනාශ කිරීමට හා ප්‍රදර්ශන කැබිනට්ටු වල තද වීදුරු පසාරුකර යාමට තරම් බරින් යුක්ත වූ නමුත් බිත්ති හෝ සිවිලිම් පහළට ගෙන ඒමට නොහැකි විය. කෙසේ වෙතත්, බොහෝ අය ඒ ගැන දැන නොසිටි අතර ටෝනි ද එය දැන නොසිටියේය.

පිපිරීම පිළිබඳ විමර්ශන එදිනම සවස ආරම්භ වූයේ ගබඩාවේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමරාවල පටිගත කිරීම් පොලිසියට භාර දුන් විට සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහාය.

නිරීක්ෂණ කැමරා, ඉතා පැහැදිලිව පෙනෙන ‘ග්ලිටර් ග්ලෝබ්’ හෙවත් සිවිලිමේ එල්ලා ඇති ගෝල මත සවි කර තිබූ අතර, ඒවා හය බැගින්, සිවිලිමෙන් එල්ලා, ගබඩාව වටා ඇති සෑම අංගයක්ම කැමරාවකින් ආවරණය වන ලෙස සවිකර තිබිණි. සෑම කැමරාවක්ම සෑම විටම පටිගත කර නොතිබුණි. සෑම කැමරාවක්ම ‘ක්‍රියාත්මක’ වුන අතර එකකින් පටිගත කිරීම් ආරම්භ වී තත්පර දහයකට පසු ඊළඟ කැමරා කාචය මගින් පටිගත කිරීම් සිදුවුනි. විවිධ කෝණවලින් සහ විවිධ නාභිගත ස්ථානවලින් ගබඩාවේ සෑම ස්ථානයක්ම පාහේ නිරීක්‍ෂණයට ලක්වන පරිදි ග්ලෝබ් ස්ථාපනය කර තිබූ අතර පටිගතවීම් මාරුවීමද සකසා තිබිණි.

ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් බෝම්බය පිපිරුන මොහොතේ සිට පටිගත කිරීම් පසුපසට ධාවනය කළ අතර, එමගින් බෝම්බකරුගේ රූපය සොයාගෙන, පසුව ඔහු ගබඩාවට ඇතුළු වූ ආකාරය ගැන සොයා බැලීය. ඔහු ගබඩාවට ඇතුළු වන බව ඔවුන් දුටු විට, ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කිරීම පහසු විය. සෑම නිලධාරියෙකුම එකඟ වූයේ, ඔහුගේ ඇඳුම් ආයිත්තම්වලින් නොව, ඔහුගේ හැසිරීමෙන් සැඟවීමට යමක් ඇති බව දැකීමට හැකි බවය. ඔහු නිසැකවම ඇඳුමින් ‘මහත්වී නොසිටියේය’.

නිලධාරීන් හය දෙනෙකු විශාල තිරයක් සහ කුඩා තිරයක් මත දර්ශනය නැරඹූහ. විශාල තිරය මගින් පෙන්වූ රූපයේ නොපැහැදිලි තාවයක් තිබූ නමුත් ඒ සඳහා සාදන ලද මෘදුකාංග මඟින් තිරයේ රූපය තමන්ට රිසිසේ හැසිරවිය හැකි විය.

ටෝනි, ඔවුන් ඔහුගේ නම නොදැන සිටියද, මිනිත්තු විස්සකට ආසන්න කාලයක් සාමාන්‍ය වේගයෙන් දෙපාර්තමේන්තු ගබඩාවේ සිටිනු ඔවුන් නිරීක්ෂණය කල අතර පසුව ඔවුන් එම දර්ශන මන්දගාමී වේගයෙන් ධාවනය කොට නැරඹූහ.

කිහිප වතාවක්ම.

ඔවුන් චිත්‍රපටය නැරඹූහ, මුළු රාත්‍රිය පුරා චිත්‍රපටය නැරඹූහ. නැවත නැවතත් නැරඹූහ. ඒ අතර අපරාධ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම බිහිසුණු සිදුවීම සිදුවූ ස්ථානය පරික්ෂා කළහ.

උදෑසන දවස උදාවෙත්ම, පැය දහහතරකට පසුව, ඔවුන්ට කාර්යය නතර කිරීමට සිදු වූ අතර, විවේක ගැනීම සඳහා අකමැත්තෙන් ගෙදර ගියෝය. රාත්‍රී වැඩ මුරය කරනවුන් අතිකාල දීමනා මත කාර්යය භාර ගත් නමුත් දිවා මුරය කරනවුන් විවේක ගෙන පැය පහකට පසු නැවත පැමිණෙන තුරු ඔවුන් රාජකාරියේ නියැළුණි. . ඔවුන්ද නැවත නැවතත් එම දර්ශන නරඹා සටහන් සකස් කලේ එය ඔවුන්ගේ සගයන් සමඟ බෙදා ගැනීමේ අරමුණ ඇතිවය.

වැඩ මුර දෙකෙහි සියලු දෙනා එකඟ වූ එක් කරුණක් නම්, බෝම්බකරුගේ නොසන්සුන් බව පැහැදිලිව දිස්වූ බවය. රාත්‍රී වැඩ මුරයේ ප්‍රධාන නිලධාරියා විසින්, සැක සහිත පුද්ගලයින් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ගබඩා ආරක්ෂක කාර්ය මණ්ඩලය සඳහා පුහුණු කිරීමේ වීඩියෝවක් සැකසීමට චිත්‍රපටයේ කොටස් ඇතුළත් කිරීම සඳහා උපදෙස් පත්‍රිකාවක් පිළියෙළ කළේය. කෙසේ වෙතත්, ඉතිරි අය තවමත් ව්‍යාකූලව සිටියහ.

දිවා වැඩ මුරය කරනවුන් නැවත කාර්යය භාරගත් විට, ඔවුන් කෝපි බොමින් වාඩි වී නැවත මන්දගාමී ස්වරූපයෙන් චිත්‍රපටය නැරඹූහ.

“සර්, ඒක නවත්වන්න! තත්පර කිහිපයක් ඒක පස්සට ගෙනියන්න, කරුණාකරලා, දැන් එක සැරේකට එක රාමුව ගානේ යවන්න. මම කියන කොටම නවත්තලා තියාගන්න ලෑස්ති වෙන්න.” තරුණ ෆෙඩරල් පොලිස් නිලධාරිනියක් පැවසුවාය. “මම හිතන්නේ මම මොකක් හරි දැක්කා… එතන පේනවද? ඒ මිනිහා එයාගේ නළල පිහිදැම්මා, බලන්න! එයාගේ ලේන්සුවේ දුඹුරු පාටක් තියනවා! එක්කෝ ඊයේ ගොඩාක් දූවිලි තියෙන්න ඕනේ, නැත්තම්… මම හිතන්නේ අපේ මිනිසා වේශ නිරූපණයක්, වේදිකා වේශ නිරූපණ ද්‍රව්‍ය පැළඳ ගෙනයි ඉන්නේ. අපි ඔක්කොමලා හරි, මම හරි, අඩුම ගානේ හිතුවේ මෙයා මැද පෙරදිග ඉඳන් ආපු කෙනෙක් කියලයි, නමුත් මට දැන් ඒ ගැන විශ්වාස නැහැ. බලන්න, එයාගේ නළල දැන් ටිකක් සුදු යි… හිඩසක් වගේ. ආපසු පස්සට ගිහින් ඒ ටික ආයෙමත් ධාවනය කරන්න, සර්, ඔයා කැමති නම්. බලන්න මම අදහස් කළේ මොකක්ද කියලා තේරෙනවද?”

“එයා යුරෝපයේ කෙනෙක් වෙන්න පුලුවන්ද?”

ඔවුන් එම වීඩියෝ පටයේ එම කොටස නැවත නැවතත් ධාවනය කළහ.

“සුසෙට්, මම හිතන්නේ ඔයා ඒකෙ මොකක් හරි හොයා ගත්තා” යැයි අණදෙන නිලධාරී ෆෙඩරල් පොලිස් කපිතාන් අලී අල්ලාවි පැවසීය. ඔයාලා ඒ ගැන හිතන්නේ මොකක්ද?”

බොහෝ දෙනා එකඟ වූහ, සමහරු අකමැත්තෙන්.

“ඉතින්, අපේ බෝම්බකාරයා අරාබි හරි, මේ ප්‍රදේශවලින් හරි, කොහෙත්ම වෙන්න බැහැ. එයා බෝම්බේ පුපුරවා ගන්න කොට ‘අල්ලාහු අක්බාර්!’ කියලා කෑගහලා නැහැ කියලත් මම දැක්කා.”

“එයාගේ මූණ ලංකරලා බලන්න අපිට පුළුවන් වෙයිද?”

කාන්තා තොරතුරු තාක්ෂණ විශේෂඥයා විසින් බොත්තම් කිහිපයක් ඔබා රූප රාමු කිහිපයක් එහා මෙහා කොට රූපයක් ගෙන තවත් බොත්තම් ඔබමින් එය පැහැදිලි වනතෙක් වැඩි දියුණු කළේය.

“සර්.”

“කරුණාකර, ඒක තිර දෙකටම දාලා හොඳ පැහැදිලි පිටපත් දුසිමක් මුද්‍රණය කරන්න.”

නිලධාරීහු තිරය සහ මුද්‍රණ යන්ත්‍රයෙන් පැමිණි මුද්‍රණය සවිස්තරාත්මකව පරීක්ෂා කළහ.

“ඔයාට මේ රූපය වෙනස් කරන්න පුලුවන්ද, ලුතිනන්? ඒ ඝන ඇහි බැමයි උඩු රැවුලයි අයින් කරලා එයාගේ හමේ පාට අඩු කරන්න. විශේෂයෙන් ඇස් දෙක වටේ. ඒක තමයි, ටිකක් සුදුමැලි, උතුරු යුරෝපීය. ඔව්…”

"හොඳයි, දැන් එයාට කළු වෙනුවට දුඹුරු පාට කොන්ඩේ දාන්න. ඔව්, ඒක තමයි. මෙයා යුරෝපීය හරි යුරෝපීය සම්භවයක් තියන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක හරියන්න තියන අවස්ථාවන් ඉතා අඩුවෙන්න පුළුවන්… ඉතා සුළු අවස්ථාවක් පමණක්… අපරාධය වෙච්ච තැන තිබිලා මිනිහා ගැන හොයාගන්න පුළුවන් මොනා හරි දෙයක් හම්බවෙලා තියනවද?”

“නෑ සර්, තාම නැහැ. මම දන්න විදිහට නැහැ. පිපිරීමෙන් ළඟම තියන කැමරා ඔක්කොම හානි වුනා. ළඟ තිබුන අනිත් කැමරාවලටත් පිටවෙච්ච එලිය නිසා ඒ වල රූප ගොඩාක් සවුත්තු වෙලා. ඒ නිසා එයාගේ ශරීර කොටස් කොහෙට විසිවෙලා ගියාද කියලා අපි දන්නේ නැහැ, සර්.”

“හරි, දැන් එතන ඉන්න අධිකරණ වෛද්‍යවරයෙකුට ඇමතුමක් දීලා පරීක්ෂා කරන්න.”

“සර්! ඉක්මනටම කරන්නම්, සර්! මිනිත්තු පහළොවකට ඉස්සෙල්ලා මම එයාලට කතා කරපුවම එයාලා කිව්වේ දැවැන්ත මිනිස් ඝාතනයක් වෙලා තියනවා කියලත්, බෝම්බ කාරයා හිටපු තැන ඉඳන් මීටර් විස්සක් ඇතුලේ ඕනෙම ශරීර කොටසක් ඕනෑම කෙනෙක්ගේ වෙන්න පුළුවන් කියලත්. දුමෙන් වෙච්ච හානිය නිසා බිත්ති වලයි සිවිලිමෙයි තියන කෑලි වල කිසිම ඩී.එන්.ඒ. ගැලපීමක් තියනවද කියලා පරීක්ෂා කරන්න අමාරුයි කියලත් එයාලා කිව්වා. පරිසර දූෂණය, සර්.”