banner banner banner
වෙස් ගත් මිනිසුන්
වෙස් ගත් මිනිසුන්
Оценить:
 Рейтинг: 0

වෙස් ගත් මිනිසුන්


“මගේ තාත්තාට ගොඩක් අසනීපයි. එය කුමක්ද සහ අපට ඒ සඳහා කළ හැක්කේ කුමක්ද යන්න මට දැන ගැනීමට අවශ්‍යය.”

“ඔව්, ඔබේ පියා, ඔබ ‘පෝ’ ලෙස හඳුන්වන තැනැත්තා.”

එම පුද්ගලයාවූ ඇගේ නැන්දා, මේ මොහොතේ පිරිමියෙකු මෙන් හඬ නඟා, පෙර දින හෙන්ග් විසින් තබා ගොස් තිබු එක් එක් දවටන මත අත් තබා දෑස් වසා ගත්තාය. දිගු විරාමයක් සමග ඇතිවූ දැඩි නිශ්ශබ්දතාවය තුලදී ඩින්ට සිතුනේ, තද පොළොවේ කුහුඹුවන් ඇවිදින හඬද ඇයට ඇසුණු බවය.

ඩින් මීට පෙර මෙවැනි අවස්ථා විශාල ගණනකට සහභාගී වී ඇතත්, මෙතරම් බරපතල අවස්ථාවකට මුහුණදී නොමැත. ඇය වරක් තම ආමාශය පිලිබඳ ප්‍රශ්නයක්ද, මීට වසර කිහිපයකට පෙර ඇගේ මාස් ශුද්ධිය පිළිබඳවද ඉතා මෑතකදී ඇයගේ විවාහය ගැනද විමසා තිබේ. ඇය එහි ප්‍රතිපලය ගැන මිස එහි පසුබිම ගැන බිය වූයේ නැත. නමුත් ඉතා වශී කරන මෙම දර්ශනය දෙස ඇයට වාඩි වී බලා සිටීමට හා නිරීක්ෂණය කිරීම පමණක් කළ හැකි බව ඇය දැන සිටියාය.

කට්ටඩියා සෙමෙන් ගල අඩංගු පළමු පාර්සලය ලිහා, එය හොඳින් පරීක්ෂා කර, එහි සුවඳ බලා නැවත එය කෙසෙල් කොළයට දමා, පසුව පාසි අඩංගු කොළයද රැගෙන එහි සුවඳද බලා, ඇය ඉදිරිපිට පැදුර මත තැබුවාය.

කට්ටඩියා ඩින් දෙස ගාම්භීරව බලා සිට ස්වල්ප වෙලාවකට පසු කතා කළේය.

“ඔබ සැලකිලිමත් වන පුද්ගලයා සිටින්නේ ඉතා අසනීපයෙන්. ඇත්ත වශයෙන්ම ඔහු මෙම සාම්පල මට දෙන විට ඔහු මරණයට ඉතා ආසන්නව සිටියේ, නමුත් ඔහු තවම මැරිලා නැහැ… ඔහුගේ අභ්‍යන්තර අවයව සමහරක්, විශේෂයෙන් රුධිරය පිරිසිදු කිරීමට සම්බන්ධ ඒවා ඉතා දුර්වල මට්ටමක පවතිනවා… මම හිතන්නේ, තායි භාෂාවෙන් කිඩිලීස් යනුවෙන් හදුන්වන, වකුගඩු වල වැඩ කිරීම සම්පූර්ණයෙන්ම නතර වෙලා, ඒවගේම අක්මාවත් වේගයෙන් නරක් වෙනවා.”

“මෙයින් අදහස් කරන්නේ මරණය අනිවාර්ය බවයි. දැනට සොයාගත් වෛද්‍ය ප්‍රතිකාරයක් මේකට

නැහැ.”

කට්ටඩියා යළිත්, පරණ තදවූ ඇඳුමක් අඳින්නාසේ වෙව්ලමින්, ඇස් පිල්ලම් වේගයෙන් ගසා, වයසක ඩා නැන්දා බවට යලිත් පත්විය.

“ඒක හොඳ ආරංචියක් නොවේ, නේද දරුවෝ? මම ආවේශ වෙලා ඉන්න වෙලාවට හැමදේම මට ඇහෙන්නේ නැහැ, නමුත් මම එයින් ටිකක් අල්ලා ගත්තා, ඒත් ඒ දේ ඔයාගේ තාත්තට නරක බව ඔයාගේ මුහුණෙන් මට පෙනෙනවා.”

“ඒ ආත්මය කියුවා වැඩ නොකරන වකුගඩු හා අක්මාව සඳහා වෛද්‍ය ප්‍රතිකාරයක් නැති නිසා, පෝ ඉක්මනින් මැරෙයි කියලා…”

“මට කණගාටුයි, ඩින්, ඔයා දන්නවා මම ඔයාගේ තාත්තාට ගොඩාක් ඇලුම් කරන බව… බලන්න, මම ඔයාට කියන්නම්, මම ආවේශ වෙනවාට අමතරව අවුරුදු ගානක් තිස්සේ ප්‍රගුණ කරපු උපක්‍රම කිහිපයක් තියනවා. දැන් අපි බලමු… ඔව්, ගල… ඔයාගේ පියා ඒ මතට කෙළ ගැසූ ස්ථානය බලන්න. කිසිම ලකුණක් නැහැ! ඒ කියන්නේ ඔහුගේ කෙලවල ලවණ නැහැ, ලවණ නැහැ, ඛනිජ නැහැ, විටමින් නැහැ, මුකුත් නැහැ, වතුර විතරයි.”

“දැන්, පාසි,” ඇය පාසි මිටිය දුරින් තබා සිඹ ක්‍රම ක්‍රමයෙන් ඇගේ නාසයට සමීප කර ගත්තාය. “ඒකමයි! මේක ඉඹලා බලන්න! ” ඇය එය ඩින්ට සිඹීම සඳහා දිගු කළ නමුත් ඩින් ඇගේ පියාගේ මුත්‍රා සුවඳ දැනීමට අකමැති විය. “එන්න, ඒක ඔයාට දෂ්ට කරන එකක් නැහැ!” ඩා කීවාය. ඇය කී ලෙස ඩින් කළාය.

“නැහැ, සුවඳක් නැහැ, පාසි සුවඳක් විතරයි”.

“හරියට හරි! පිරිමින්ගේ මුත්‍රා ඔතලා තිබ්බොත් බළලුන්ගේ මුත්‍රා වගේ ගඳයි, නමුත් ඔයාගේ තාත්තාගේ එහෙම නැහැ. එමනිසා, එහි කුණුවී ගඳ ගසන්න මස් නැහැ. ඒ කියන්නේ ඔයාගේ පියාගේ රුධිරයද වතුර වෙලා.”

“ඔයාට රුධිරය වෙනුවට වතුර එක්ක ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන්ද? තර්කය හරිනේද? රුධිරය ශරීරය වටා සියලු යහපත් දේ ගෙනියයි, නමුත් ඔයාගේ පියාට කිසිවක් නැහැ, ඒ නිසා ඔහු නිතරම දුර්වලයි!”

“ඔයා දැන් ගෙදරට යන්න, අපි පරක්කු වැඩිද කියලා බලන්න, පියා තවමත් අප සමඟ නම් ආපසු ඔයාගේ ස්කූටරයෙන් ඇවිත් මාව එක්කන් යන්න. දැන්ම ඉක්මන් කරන්න!”

ඩින් දොරෙන් ඉගිලී ආපසු ගෙදර දිව ගියාය.

ඩින් ගෙදර ගිය අතරේදී, ඩා පිටත්ව යාමට සූදානම් වූවාය. මන්ද ඇගේ හෙන්ග් තවමත් මිය ගොස් නැති බවත්, කෙසේ හෝ සම්පූර්ණයෙන් ම මිය ගොස් නැති බවත් ඇය හදවතින්ම දැන සිටියාය. ඇය ඖෂධ පැළෑටි කිහිපයක් තෝරාගෙන ඒවා මල්ලක දමා, මුහුණට වතුර ඉස, යතුරුපැදි ගමනේදී විසිරී නොයන ලෙස හිසකෙස් වැස්මකින් බැඳ ගත්තාය. ඉන්පසු ඇය තම ලේලිය එනතෙක් බලා සිටීමට පිටතට ගියාය.

දූහුවිලි වලාකුළක් සමගින් ඩින් මිනිත්තු කිහිපයකට පසු යලි පැමිණියාය.

“ඉක්මනින් නැන්දා, අම්මා කියනවා ඉක්මනට එන්න කියලා, මොකද එයා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ.”

කාන්තාවකට ගැළපෙන පරිදි සැකසු පැති ආසනයක් සහිත ස්කූටරයට ඩා නැගගත් විගස ඔවුහු පිටත් වූහ. ඩින්ගේ දිගු කෙස් ඩාගේ රැලි වැටුණු මුහුණේ වේදනකාරී ලෙස වැදුණුවිට ඇය ඒවා වැලැක්වීමට මෙන් වරින් වර හිස පහත් කරමින් ගියාය. ඔවුන් පැමිණි විගසම ඩා ස්කුටරයෙන් බැස, වයසක කාන්තාවක් වුවත් ඉතා කඩිසර ගමනින් ගෙට ඇතුළුවිය.

“ඉක්මනට ආපු එක ගැන ස්තූතියි, ඩා නැන්දා, එයා නිදන කාමරයේ ඉන්නවා.”

“ඔව්, මම හිතුවා එයාගේ ආදරණීය එළුවන් එක්ක නෙමෙයි අද ඇඳේ ඉඳියි කියලා!” ඇය මදුරු දැල ඔසවා ඔහුගේ හිස අසල වාඩි වූවාය. මුලින්ම ඇය ඔහුගේ සම දෙස බැලුවාය, පසුව ඔහුගේ හිසකෙස්, තොල් සහ අවසානයේදී ඇය ඔහුගේ දෑස් විවර කර ඒවා දෙස බැලුවාය.

ම්ම්ම්, මට පෙනෙන්නේ… මට එයාගේ කකුල් පෙන්වන්න!” තම ස්වාමිපුරුෂයාගේ පාද ආවරණය ඉවත් කිරීමට වැන් ඉක්මන් වූ අතර, ඩා ඒවා මිරිකමින් වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට නැඹුරු වූවාය.

“ම්ම්ම්, මම මීට පෙර මෙතරම් බරපතල ලෙස රුධිරයේ මස් නොමැතිකම දැකලා නැහැ. කුමක් කළ යුතුදැයි ඔබේ ළමයින්ට පවසන්නට මට ටික වේලාවකට අවසර දෙනවාද? හොඳයි, මම ඉක්මනින් ආපසු එන්නම්. ඔයාගේ පුරුෂයාගේ ඔළුව යටට කොට්ට කිහිපයක් තියලා උස්සලා තියන්න, ඩෙන් මට එළියේදී උදව් කරයි ඒ අතරදී ඔයාට උදවු කරන්න මම ඩින්ව එවන්නම්.”

“ඔව්, නැන්දා, ඇත්තෙන්ම. මගේ ආදරණීය හෙන්ග්ට උදව් කරන්න ඕනෑම දෙයක් කරන්නම්.”

“හරි, අපි බලමු අපිට කරන්න පුළුවන් දේ නේද?” ඒ සමඟම ඇය නැඟිට බිමට බැස්සාය.

“ඩින් ගොස් ඔබේ අම්මාට උදව් කරන්න, ඩෙන් එන්න මාත් එක්ක, අපි ඔක්කොම කඩිනමින් හා නිවැරදිව ක්‍රියා කළ යුතුයි.”

ඩින් ඉක්මණින් තම මව වෙත ගිය අතර ඩෙන් ඇසුවේ උදව් කිරීමට ඔහු කුමක් කළ යුතුද යන්නයි.

“ගිහින් ඔයා සතුව ඇති ශක්තිමත්ම කුකුළා මට ගේන්න! ඉක්මනට, කොල්ලෝ! ”

ඔහු තම කුකුළා අත යට රඳවාගෙන පැමිණි අතර ඩා එය ඔහුගෙන් ගත්තේය. “දැන් ඔයාගේ ශක්තිමත්ම එළුවා කණුවකට තදින් බැඳලා දමන්න, හැබැයි එයාට අඟලක්වත් හෙළවෙන්න බැරිවෙන විදිහට- හිටගෙන හිටියත් වාඩිවෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ.”

ඩෙන් වේගයෙන් එළුවා ගෙන ඒමට දිව යද්දී, ඩා මේසය අද්දර නැඹුරුවී, කුකුළාගේ බෙල්ල කපා, එහි රුධිරය බඳුනකට දමා, පණ නැති සිරුර මේසය මත ඇති එළවළු කූඩයට විසි කර උඩ තට්ටුවට වේගයෙන් දිව ගියාය.

ඇය උඩට පැමිණි විගස, “ඩින්” යනුවෙන් අමතා “ශීතකරණයේ එළුවෙකුගේ කිරි හරි වෙන මොනවා හරි කිරි තියනවද? මුකුත් නැත්නම්, බඳුනක් අරගෙන නැවුම් කිරි ටිකක් ගන්න, කරුණාකරලා, කෙල්ලේ.”

ඇයට ඉක්මන් කරන්න කීමට අවශ්‍ය නොවුනේ ඇය එවිටත් වැඩය සඳහා පිටත්ව ගොස් තිබූ බැවිනි.

“හරි, වැන්, එයා අවදියෙන්ද?”

“ඇත්තටම නැහැ, නැන්දා, භාගෙට භාගයක් වගේ.”

“හරි, ඔයා එයාගේ නහය වහලා අල්ලගන්න, මම මේ ලේ ඔහුගේ උගුරෙන් වත් කරන්නම්.” ඇය ඔහුගේ වැසී තිබූ හක්ක ඇගේ මාපටැඟිල්ල සහ මැද ඇඟිල්ලෙන් මිරිකමින් මුඛය විවෘත කර ඔහුගේ හිස පිටුපසට තල්ලු කරමින් කුකුළු ලේ උගුරු කිහිපයක් ඔහුගේ උගුරට වත් කළාය. ඩීසල් මගින් පෙට්‍රල් මෝටර් රථයක් පන ගන්වන විට මෙන් ශබ්දයක් හෙන්ග් ගේ උගුරින් පිටවන විට ඩා තේරුම් ගත්තේ ලේ වලින් භාගයක්වත් හරි මාර්ගයේ ගිය බවයි.

හෙන්ග් තම දෑස් තරමක් විවර කළේය.

“මේ මායාකාරියන් දෙදෙනා මට මොකක්ද කරන්නේ?” ඔහු ඉතා සිමින් ඇසුවේය, “ඒක හරිම අප්පිරියයි!”

“ආහ්, මට එහෙම හිතුනා තමයි”, කියමින් ඩා තවත් ලේ කටට වත්කලේය. “ඒක ඉතා සාරවත්, ඔයා ඒ සඳහා හුරු වෙන්න ඕනේ.”

ඩින් පැමිණ පැවසුවේ “නැවුම් කිරි, අපේ හොඳම එළුවා වන ෆ්ලවර් ගෙන්, තවමත් උණුසුම්” කියාය.

ඩා එය රැගෙන, ඉතිරි රුධිරය සමඟ භාගෙට භාගයක් වනසේ මිශ්‍ර කර පෙර මෙන් හෙන්ග්ගේ උගුරට වත් කළේය. නමුත් මෙවර හෙන්ගෙන් දැඩි අකමැත්තක් ප්‍රකාශ විය.

“ඒක දැක්කද!” ඇය කීවාය, “එයා දැනටමත් ශක්තිමත් වෙමින් සිටිනවා! හෙන්ග් අප සමඟ පොරබැදීමට උත්සාහ කරනවා, ඔහු ප්‍රතිරෝධය දක්වනවා. සමහර විට එයා තවම සම්පූර්ණයෙන්ම අපිව දාල ගිහින් නැහැ!”

“කමක් නැහැ! වැන් ඔයා කිරි ටික දෙන්න, නමුත් දැන් තියන ටිකෙන් භාගයක් ඉතුරු කරගන්න. මම මිනිත්තු කිහිපයකින් නැවත එන්නම්.”

ඇය පහලට බැස ඩෙන්ට කතා කළාය.

“අර එළුවා දැන් ලෑස්තිද?”

“ඔව්, නැන්දා, ඌ අතන ඉන්නවා.”

“හොඳයි, එන්න මාත් එක්ක.”