banner banner banner
වෙස් ගත් මිනිසුන්
වෙස් ගත් මිනිසුන්
Оценить:
 Рейтинг: 0

වෙස් ගත් මිනිසුන්


“හොඳයි, අපිට ඇත්තටම ප්‍රදේශවාසීන්ගෙන් ලේ ලබා ගන්න බැහැ, අපිට පුලුවන්ද? එයාලගෙන් ගොඩක් අය එයාලගේ සීතල සහල් පුඩිං එකක පොත්තක් වත් දෙන්නේ නැති එකේ, ලේ පයින්ට් එකක් දෙයිද? අපට ඔවුන්ගෙන් එය මිලදී ගන්නටද වත්කමකුත් නැහැ.”

“අපට සංචාරකයින් අල්ලලා එයාලගේ ලේ බෝතල්වලට දමා ශීතකරණයේ ගබඩා කර තබන්න පුළුවන් …” ඩෙන් පැවසීය.

“ඇත්තටම ගොඩක් සංචාරකයින් මෙහි ගෙන එන්නේ නැහැ නේද, ඩෙන්?” ඔහුගේ මව ඇගේ දිව දික් කරමින් ඇසුවාය.

“අපට විවිධ සතුන්ගේ ලේ සහ කිරි මිශ්‍රණයක් අත්හදා බලන්න පුලුවන්. අපිටත් හැම මාසෙකම ලේ පයින්ට් එකක් පරිත්‍යාග කරන්නත් පුළුවන්.” ඩින් පැවසුවාය.

“ම්ම්ම්, අවුරුද්දකදී පුද්ගලයෙකුට කොච්චර ලේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ, ඒත් පයින්ට් දොළහක් කියන්නේ විශාල ප්‍රමාණයක් කියලා මට හිතෙනවා- ඇත්තටම ඒක හොඳ සිතුවිල්ලක්.”

“සමහර විට අපගේ දුරින් නෑ වෙන පවුලේ සාමාජිකයන් වරින් වර ලේ පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙයි, ඔයාගේ තාත්තාට ගොඩක් අය කැමතියි.”

“අපට මිය යන අයගෙන් සියලු රුධිරය මිලදී ගැනීමට පුළුවන් වෙයි” කියා ඩෙන් කීවේය.

“මම හිතන්නේ, එයාලා මැරෙන්න ඉස්සර ශරීරයෙන් ලේ ගන්න ඕනේ කියලයි, මොකද හදවත නතර වෙලා තියන නිසා ලේ පොම්ප කරන්න බැහැනේ.”

“අපට එයාලව කකුල් වලින් එල්ලලා ඔවුන්ගේ උගුරට තට්ටු කරන්න පුළුවන්ද… නැත්නම් ඔවුන්ගේ හදවතට… හෝ ඒ දෙකටම?”

“මට පෙනෙන විදිහට ඔයා යෝජනා කරන්නේ, කාගේ හරි ආදරණීය මහලු මව මිය ගොස් හැමෝම අඬ අඬා දුකින් ඉන්නකොට, එයාගේ ශරීරය සීතල වීමට පෙර එතැනට දුවගෙන ගිහින්, ඇයව කකුල්වලින් බැඳලා එල්ලලා ඇඟේ ලේ බාල්දියකට දමලා ඔයාගේ තාත්තට පානය කරන්න දෙන්න අහන්නද, අහ්?”

“ඒක කොච්චර දුරකට හරියයි කියල ඔයා හිතනවද?”

“සමහරවිට අපිට පුළුවන් වෙයි…”

“ඒවගේ නපුරු මෝඩ දෙයක් යෝජනා කරන්න එපා!”

“කොහොමද පොඩි බබාලා… සමහරවිට එපා, එහෙම නේද?” ඩෙන් පැවසූ අතර ඔහුගේ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ නිසා පසුව නිහඬ විය.

“සාරාංශයක් විදිහට, එසේ නම් අපි, පළමුව, පවුලේ සාමාජිකයන්ගෙන් ලේ එකතු කර, දෙවනුව, සත්ව ලේ සහ කිරි මිශ්‍රණය සඳහා යමු, ඒත් ඒ එකක්වත් හරියට සිද්ධවෙයි කියලා විශ්වාසයක් අපිට නැහැ.”

“තව තියනවද?”

“අපට පුළුවන්… නැහැ, සමහර විට ඕනේ නැහැ…” ඩෙන් පැවසීය.

ඔහුගේ මව පැවසුවේ, “මෝඩ උනත් නැති උනත් කමක් හැහැ, කියන්න, අපි බලාපොරොත්තුවක් නැති තත්වයක ඉන්න නිසා, සෑම විකල්පයක්ම සලකා බලන්න ඕනේ.”

“හොඳයි, මට මුස්ලිම්වරයෙකු වෙන්න පුළුවන්…එතකොට මට භාර්යාවන් සිව්දෙනෙකු ගේන්න පුළුවන් හින්දා අපිට තව ලේ පරිත්‍යාගශීලීන් හතර දෙනෙකු ලැබෙනවා… ඔවුන්ට දරුවන් හතර දෙනෙකු බැගින් ලැබුනොත්, එතකොට පරිත්‍යාගශීලීන් 16 දෙනෙකු සහ…”

“ඔව්, හරි ඩෙන්, ඒකට ස්තූතියි! මට ඒගැන අහන්න නොතිබුණා නම් හොඳයි… ඊළඟට, ඔයා යෝජනා කරයි ඔයාගේ සහෝදරිය මිනිසුන් සතුටු කරන්න ගිහින් පයින්ට් දෙකක් ඒකට අය කරගන්න කියලා!”

ඩින් එම සිතුවිල්ල ගැන තදින් කම්පාවට පත් වූ අතර ඇගේ මව පවා එවැනි දෙයක් පැවසීම ගැන කම්පනයට පත් වූ නමුත් වැන් ඔහුට පයින් පාරක් ගසන තුරු ඩෙන් සිතුවිල්ලෙන් පීරී සිටියේය.

“මම දකින විදිහට, අපි තවම සලකා නොබැලූ තවත් ගැටලු දෙකක් තියනවා,” ඩින් පැවසුවාය. “ඩා නැන්දා කිව්වා තාත්තා අපේ සැලැස්ම අනුමත කළ යුතුයි කියලා මොකද එයා තමයි මේවා බොන්නේ. අනික හෙටට අපිට මොනවා හරි ඕනේ.”

“සමහර විට අපට හෙට එළුවන්ගේ කිරි සහ ලේ මිශ්‍රණය භාවිතා කරන්න පුළුවන්, මොකද ඔයාගේ තාත්තාට ඒක කුකුල් ලේ වලට වඩා රසවත් නිසා, නමුත් ඔව්, ඔයා හරි, අපට ඉක්මනින් ස්ථිර දෙයක් කරන්න වෙයි. අපිට පස්සේ නැන්දාගෙන් ඒ ගැන අහන්න පුළුවන්. ඔයාගේ තාත්තා සම්බන්ධයෙන් ගත්තාම, එයාට තියෙන්නේ එයා තමාගේම ආහාර අවශ්‍යතා පුරවාගන්න තරම් ශක්තිමත් වන තුරු අපි දෙන දේ අනුභව කර ස්තුතිවන්ත වෙන එකයි. ඒ වගේම ඔයා එයා ගැන සිතපු එකට එයා කෘතඥ වෙයි කියලා මට විශ්වාසයි.”

ඔවුන් තිදෙනා මෙසේ මිනිත්තු කිහිපයක් ඔවුන්ගේ පෞද්ගලික සිතුවිලි වල නිමග්නව සිටින විට, ඩා ‘අවදි විය’.

“ඔයාලට අලුත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුනාද, නැත්නම් මම විසඳුම් කියන්නද?”

“නැහැ, නැන්දා, ඩෙන්ට සිතින් මවා ගත් අදහස් කිහිපයක් තිබුණත් ඒවා ඇත්ත වශයෙන්ම කරන්න බැරි දේවල්. අවාසනාවකට මෙන්, ඔයා පැය කිහිපයකට පෙර ඉදිරිපත් කළ යෝජනාම ඇරෙන්න අපිට වෙන යෝජනා නැහැ.”

“ඔව්, මම හිතුවා ඔයා එහෙම කියයි කියලා, නමුත් අවංකව කියනවානම් මේක විසඳීමට පහසු ප්‍රශ්නයක් නොවෙයි. මටත් මගේ භාවනාවේදී විසඳුමක් ලැබුනේ නැහැ, නමුත් දැන් සවස් වෙලා පරක්කුත් නිසා මට හරි මහන්සියි. ඉතින් ඔයාලගෙන් එක් දරුවෙක්ට මාව නැවත ඇරලවන්න පුලුවන්ද, අපි මේ ගැන සිතමින් නිදා ගමු.”

ඔවුන් දෙදෙනා කෑමට යමක් නොගෙන, සතුන් පරීක්ෂා කිරීම සහ නින්දට පෙර ස්නානය කිරීම නොකර ඩෙන් නැවත පැමිණෙන තෙක් බලා සිටියහ. ඔවුන් සියල්ලෝ මේ ගැටලුව නිසා මානසිකව හෙම්බත්වී සිටියෝය. කෙසේ වෙතත්, කාරණයේ සත්‍යතාවය නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට තනිවම උඩුමහලට ගොස් වැම්පයර් කෙනෙකු සමග ගතකිරීමට තිබූ අකමැත්ත නිසා ඔවුන් සියල්ලෝ එකට උඩුමහලට යාමට බලා සිටීමයි. වැන්ට ඔහු සමඟ නිදා ගැනීමට පවා අවශ්‍ය නොවීය, නමුත් ඇයට යුතුකමක් ඇති බව ඇයට හැඟුණි, එබැවින් වැඩිමහල් තැනැත්තිය වූ ඇය ඉටිපන්දමක් දල්වාගෙන මඟ පෙන්වූ අතර දරුවන් දෙදෙනා වෙවුලමින් ඇයගේ පිටුපසින් ආවෝය.

ඔවුන් ඇඳ අසල නතර වී බැලුහ. හෙන්ග් ඇඳේ කෙළින් වාඩි වී සිටියේය, ඔහුගේ සුදුමැලි සම සහ සුදුවන් දෑස් අඳුරේ දිලිසුණි.

“පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්!” ඔහු පහත්, ගැඹුරු හඬින් කීවේය.

ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ඇඳන් වෙතට ගිය නමුත්, නොසෙල්වී, තමා ඉදිරියේ හිස් අවකාශය දෙස බලා සිටි හෙන්ග්ගෙන් ඔවුන්ගේ දෑස් ඉවතට ගැනීමට ඔවුන්ට නොහැකි විය.

3 පී පොබ් හෙන්ග්

දැඩි වෙහෙසට පත්ව නින්දට වැටුන ඔවුන් පසුදා උදෑසන අවදි වූ විට, හෙන්ග්, පොරවන රෙදිවලින් සම්පූර්ණයෙන් ආවරණයවී තම හිස මතද කොට්ටයක් තබාගෙන නිදා සිටියේය.

ඔවුන් නැඟිට හැකි ඉක්මනින් ඔහුගේ ඇඳ පසුකරමින් පහළට ගියෝය.

“අම්මේ, ඔයා ඊයේ රෑ තාත්තාව දැක්කද?” ඩෙන් ඇසීය. “එයාගේ ඇස්වලයි සමේ දීප්තියයි කාමරය එලිය කරා නමුත් ගොඩාක්ම එයාගේ ඇස් නේද? ඉස්සර ඒවා අපේ වගේ සුදුයි කලුයි නමුත් දැන් රතුයි රෝසයි… ඒ ලේ නිසා කියලා මම හිතනවා.”

“මම හරියටම දන්නේ නැහැ, නමුත් මම හිතන්නේ ඔයා හරි කියලයි. ඔයා සහෝදරිය එක්ක ගිගින් තව ලේ ටිකකුයි කිරි ටිකකුයි ගේනවා නම් හොඳයි. ඔයාට මතකද ඔයාගේ නැන්දා ලේ ගත්තු විදිහ?”

“ඔව්, අම්මේ, ඒත් මම වෙනත් එළුවෙකුගෙන් ගන්නම්, මොකද ඊයේ කෙනාට සනීප වෙන්න දෙන්න ඕනේ නේද?”

“ඔව්, හොඳ අදහසක් ඩෙන්. ලේ ගන්න සෑම දවසකම වෙනස් එළුවෙකු පාවිච්චි කරන්න, ඒ අතර ඩින්ට පුළුවන් සාමාන්‍ය විදිහට කිරි දෙවීම කරගෙන යන්න. නමුත් දැනට, එළුවන්ගෙන් ගන්න කිරි සියල්ලම ඔබේ තාත්තට, හරිද? එයාට ඒවා අපට වඩා ඕනේ වෙනවා, අනික මහා රෑ එයාව බඩගින්නේ තියන්නත් බැහැනේ, එහෙම නේද? ”

“ඔව් අම්මේ, අනිවාර්යෙන්ම ඔව්! ඊයේ රෑ නිදාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මම හරිම බයෙන් හිටියේ තාත්තා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි නැත්නම් කන්න කාවහරි හොයයි කියලා”

“ඔයා දැන් ඒ වගේ දේවල් ගැන කරදර වෙන්න එපා ඩෙන්. මම ඔයාට වඩා තාත්තට කිට්ටුවෙන් ඉන්නේ, ඒ නිසා එයා එහෙම දෙයක් කරනවානම් මට තමයි, නමුත් එයාගේ ඇඳේ ලේ වැගිරෙන ගෝනියක් වගේ හමක් දැක්කොත් එලියට දුවන්න. ඒවගේම කවදා හරි උදේක අපේ මදුරු දැල පිටිපස්සේ ඉඳන් රතු ඇස් හතරක් ඔයා දැක්කත්.”

“හොදයි අම්මේ! මම ඉක්මනටම ලේ අරගෙන එන්නම්. ඩින් කොහෙද? ”

“මම දන්නේ නැහැ, සමහර වෙලාවට එයා දැනටමත් කිරි දොවන්න පටන් අරන් ඇති. ඔයා වැඩේ කරගෙන යන්න, මම යතුරුපැදියෙන් ඩා නැන්දාව එක්කන් එන්නම් - මම හිතන්නේ අපට ඔයාගේ තාත්තා ගැන තව උදවු ඕනේ එයාගෙන්. ඔයයි සහෝදරියයි තාත්තාව බලන්න යන්න ඉස්සර වෙලා මම ආයේ එනකන් ඉන්න, හරිද?”

“ඔව්, අම්මේ, මට දෙසැරයක් ඒ ගැන කියන්න ඕනේ නැහැ, නමුත් එයා මෙහි ආවොත් අපි මොකද කරන්නේ?”

“මම හිතන්නේ නැහැ එයා එහෙම එයි කියලා… මම ඇඳෙන් නැගිටින කොට එයා හොඳටම නිදි, නමුත් වැඩි වේලාවක් යන්නේ නැතුව අපි එනවා. එයා නැගිටිනවා නම්, එයාට සුබ උදෑසනක් කියලා ඔයාලව සිප ගන්න ඉඩ දෙන්න එපා.”

මිනිත්තු දහයකට පසු වැන් ඩා සමග ආපසු පැමිණියාය. ඩා ඇයගේ මේසයේ වාඩි වී සිටියේ හෙන්ග්ගේ නිවසේ කෙනෙකුගේ පැමිණීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින්ය. ඔවුන් ආපසු පැමිනෙන විට, හෙන්ග් පහළට පැමිණ නොතිබුන අතර, ඩින් කිරි එකතු කර අවසන් කොටත් ඩෙන් රුධිරය සූදානම් කරගෙනද සිටියෝය.

“හොඳයි,” ඩා පැවසුවාය, “මම කියන්නේ එළු කිරි හා ලේ 50-50 ප්‍රමාණයකට, බැසිල් තේ හැන්දක්, කොත්තමල්ලි භාගයක් සහ මෙන්න මේකත් එකතු කරලා දෙන්න කියලයි. ඒක හොඳට කලවම් කරන්න. එයාට මේකෙන් උදේට ලීටර් භාගයක් දෙන්න, ඇඳට යන්න පෙරත් ඒ විදිහටම දෙන්න. දැනට ඒක ඇතිවෙයි. ඔහ්, එයාට කොයි වෙලාවකවත් සුදුළූණු දෙන්න එපා, එය වැම්පයර්වරුන්ට ඉතා නරකයි! අපි දැන් ගිහින් එයාව බලමු.”

“අපි උඩට යන්න ඉස්සෙල්ලා, නැන්දා ඩා, මම ඔයාට කියන්න ඕනේ, ඊයේ රෑ වැඩි කාලයක් එයා ගත කළේ ඇඳේ කෙළින් ඉඳගෙන, සුදුමැලි සමක් එක්ක දීප්තිමත්ව දිලිසෙන රතු ඉංගිරියාවක් තියන රෝස පැහැති ඇස් එක්ක. ඔහ්, එයා අපට කතා කරපුවාම! ඔහ්, මගේ බුදුන්! මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා නැහැ. එයා කියුවේ ‘පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්’ එතරම් අමුතු, ගැඹුරු කටහඬකින් … එය ඇත්තටම බයානකයි.”

“ඒකට කමක් නෑ දැන් … අපි ගිහින් එයාව බලමු.”

ඔවුන් කිරි සහ රුධීර මිශ්‍රණය සමඟ උඩුමහලට ගොස් කාමරයට ඇතුළු වූහ. සියලුම ජනේල වසා තිබූ බැවින් ඇතුළත අඳුරු විය. වැන් යළිත් පිටතට ගොස්, ඉටිපන්දමක් ගෙන, නූලකින් අසල එල්ලා තිබූ ලයිටරයක් මගින් එය පත්තු කොට නැවත කාමරයට ඇතුළු වූයේ ඩා සමග එක්වීමට ය. ඒ අතරතුර ඩා හෙන්ග් නිදා සිටි ඇඳ අසලට සමීප වූවාය.

ඉටිපන්දම් එළියෙන් අලුත් දෙයක් දිස් නොවූ නිසා කාන්තාවන් දෙදෙනා මදුරු දැල ඔසවා බැඳ ඇඳේ දෙපස වාඩි වූහ. වැන් ආවරණ ඉවත් කල අතර, ඔහු නිරුවතින්, උඩුබැලි අතට, දෑත් කුරුසියේ ජේසුස් වහන්සේ සිටියාක් මෙන් දිගු කොට, ඔහුගේ රතු පැහැති දෑස් විවෘත කොට සිටියේය. එලෙසම කුඩා ඉරි දෙකක් ඔහුගේ මුඛය වටාද දිස්විය.